සර්ව නාම පද සහ පුරුෂ භේදය හඳුනාගනිමු. (සිත්කවි)

නාම පද ගැන ඔයාලගෙ මට්ටමින් දැනගත්තට පස්සෙ දැන් අපි යන්නෙ  සර්ව නාම පද කියන්නෙ මොනවද කියල හොයල බලන්න.
(දෙමාපියන්ගේ උදව් මේ පාඩමට අත්‍යවශ්‍යයි)


  • බල්ලා පාර දෙස බලමින් බුරයි. බුරන්නේ වලිගය වනමිනි.
  • නංගී කිරි ඉල්ලා අඬයි.ඇය කිරි වලට හරිම කැමැතිය.
  • තාත්තා කඩයට යන්නට වගේ.එයා අද ඇදන් ඉන්නෙ කොටු සරම.
  • අයියා පොත් කියවයි.ඔහු පන්තියේ පාඩම් වලට රුසියෙකි.



  • බල්ලා              ඌ              
  • නංගී                ඇය            
  • තාත්තා            එයා           
  • අයියා              ඔහු

  • මුලින් කියපු බල්ලා ගැනම නේද ඌ කියල ආයෙත් කියල තියෙන්නෙ.
  • මුලින් කියපු නංගී ගැනම නේද ඇය කියල ආයෙත් කියල තියෙන්නෙ.
  • මුලින් කියපු තාත්තා ගැනම නේද එයා කියල ආයෙත් කියල තියෙන්නෙ.
  • මුලින් කියපු අයියා ගැනම නේද ඔහු කියල ආයෙත් කියල තියෙන්නෙ.
          මෙන්න මේ වගේ ''වරක් යමක් ගැන හෝ යෙමෙක් ගැන සඳහන් කළ පසු
නැවතත් ඒ ගැනම සඳහන් කරන්නට සිදු වන විට ඒ මූලික නාම පදය වෙනුවට
යොදාගන්නා ඔහු,එය,ඇය,ඌ,ඒවා, යන සෙසු නාම පද හැදින්වෙන්නේ සර්ව නාම පද යනුවෙනි.''

මේ සර්ව නාම පද වල තවත් අපූරු දෙයක් කියනම් ඔයාලට. දැන් බලන්නකො පුතේ උදාහරණ දිහා.



ඔහු/ඌ

මිනිසා 
ළමයා 
හරකා 
රියදුරා 
ගුරුතුමා 
බල්ලා 
ඌරා 
පණුවා 
අලියා 
තාත්තා 
ඇය 
        

අම්මා 
නංගී 
නැන්දා 
ගෙවිලිය 
එළදෙන  
ආච්චි 
වැඳිරිය 
උපාසිකාව
දැරිය 
අක්කා
එය


පිහිය 
පෑන 
ලෑල්ල 
ගෙදර 
වාහනය   
කරත්තය 
පුටුව 
මුට්ටිය 
කඩය 
පොත 


මේ වගේ අවස්ථා බලන්න. එක වචනෙකින් පුළුවන් ගොඩක් දේවල් ගැන කියන්න.ගුරුවරය ගැනත් ඔහු කියන්න පුලුවන් වගේම බස් එකේ රියදුරු මාමටත් ඔහු කියන්න පුළුවන් .ඇය කියල කිව්වම ඒ වචනේ යටතේ ඔය උඩ රූපය විදියට අරුත් ගොඩාක් එන විදියට අපිට හසුරුවන්න පුලුවන්. අම්මල තාත්තල දරුවන්ට මේ සරල සම්බන්දතාවය පහදල දෙන්න.

ඔන්න දැන් මේ පාඩමේ ටිකක් අමාරු කාරණා ටිකක් වටහගමු.දුවේ පුතේ අපේ සිංහල භාෂාව තුල තියෙනව පුරුෂ භේදය කියල කොටසක්. ඒ කියන්නෙ ස්ත්‍රී පුරුෂ භේදය විතරක් නෙමෙ. අපි ඒකට කියන්නේ නාම පද කොටස් තුනක් යටතේ වර්ග කරන එකට.හෙමින් සැරේ වටහගන්නකෝ මේ ටික. ඒ කොටස් තමා

  • උත්තම පුරුෂ
  • මධ්‍යම පුරුෂ
  • ප්‍රථම පුරුෂ
කියල අපි හඳුන්වනු ලබන්නෙ.මොකක්ද එතකොට මේ පුරුෂ තුනක් යටතේ සිද්ද වෙන්නෙ.


උත්තම පුරුෂ 
තමන් ගැන පවසයි 
ධ්‍යම පුරුෂ
තමාගේ ඉදිරියේ සිටින අය ගැන පවස්යි 
ප්‍රථම පුරුෂ 
තමාත් නොවන,තමාගේ ඉදිරියේ සිටින අයත් නොවන බාහිර පක්ෂයක් ගැන පවසයි. 
ඔන්න පුතේ මේ විදියට කොටස් තුනකට බෙදෙනකොට මේ සර්ව නාම පද ඒක වචන සහ බහු වචන විදියට බෙදෙනව. ඒ වගේම අප්‍රාණවාචී වචනත්  එහෙම නැත්නම් නපුංසක ලිංග වචනත්  ඒක වචන  බහු වචන විදියට වෙන් වෙනව.  වගුව බලන්න.



පුරුෂය 
ඒක වචන සර්ව නාම 
බහු වචන සර්ව නාම 
උත්තමපුරුෂ
මම /මා 
අපි /අප 
මධ්‍යම පුරුෂ 
තෝ/තී/තා/ඔබ/නුඹ/මෙතුමා/ යුෂ්මතා/ඔයා 
තොපි/තෙපි/තොප/මුන්/මොවුන්/ ඔබලා/නුඹලා 
ප්‍රථම පුරුෂ 
ඔහු/හේ/ඕ තොමෝ /හෙතෙම/ඕ/ඈ/ඇය/හෙතෙමේ/ එතුමා/ඌ/එයා/අරයා/උන්වහන්සේ/ ඒකා 
ඔවුහු/ඔවුන්/එවුන්/උන්/අය 
අප්‍රාණවාචී /නපුංසක ලිංග 
එය/මෙය/ඒක/මේක/
ඒ තැන/මෙතැන/අරක 
ඒවා/මේවා/අරවා 

මේ පාඩම අපි පාසලේදී තව දුරටත් හදාරමු. දැනට මේ පුරුෂ තුන සහ ඒවා යොදාගන්න අවස්ථා ගැන මතකෙ තියාගන්න. ඒ ප්‍රමණවත්.

අභ්‍යාස


  1. පහත වචන වලට උචිත සර්ව නාම පද ලියන්න.

නාමය
සර්ව නාමය
නාමය
සර්ව නාමය
කබරයා 
……………..
හාමුදුරුවෝ 
……………..
මල්ලීට 
……………..
රජතුමා 
……………..
කණගාටුව 
……………..
බල්ලා 
……………..
නගරය 
……………..
මහනුවර 
……………..

    2. පහත සර්ව නාම පද යොදා කෙටි වැකි ලියන්න.


  • ඕ 
  • හෙතෙමේ
  • අපි 
  • තෝ 
  • තී 
  • ඕ තොමෝ 
  • මම 
  • ඒක 
  • මේවා 
  • නුඹ 
  • යුෂ්මතා 
ගැටලු ඇත්නම් කමෙන්ටුවක් හරහා විමසන්න.
යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි) 



Comments

Anonymous said…
ඈ යන්නෙහි බහු වචන පදය කුමක් ද ?
Anonymous said…
ඒක වචන පද වන- හේ/ඔහු/ඕ/ඈ/ඇය
මෙම වචන සියල්ලලෙහි ම බහු වචනය= ඔවුහු
Unknown said…
හෙතෙම ප්‍රතම පුරුෂ ද මධ්‍ය පුරුෂ ද නැත්නම් උත්තම පුරුෂ ද