ව්‍යාකරණ - නාමපද වැඩිදුර හදාරමු. 2 කොටස(සිත්කවි)


නාම පද  

පුරුෂ ලිංග හා ස්ත්‍රි ලිංග

ඒක වචන බහු වචන අනුව,ප්‍රාණවාචී අප්‍රාණවාචී අනුව, අපී මුල් පාඩම් වල නාම පද බෙදා දැක්වුවා.දැන් අපි ලිංග භේදය අනුව වර්ග කරමු.මේ වාක්‍ය බලන්න.

  •      සිඟිත්තිය මොර දී හැඬුවාය.
  •     ගොවියා කුඹුරට ගියේය.·       
  •     කිරිල්ලිය ඉගිල ගියාය.
  •     රජතුමා රාජ්‍ය  පාලනය කලේය.


මේ වැකි කියවන කොට ස්ත්‍රී හෝපුරුෂ බවක් ඇඟවෙනවා නේද දරුවනේ?
මෙන්න මේ විදියට ස්ත්‍රී බවක් අඟවන නාම පද ස්ත්‍රී ලිංග නාම පද විදියටත් පුරුෂ බවක් හඟවන නාම පද පුරුෂ ලිංග නාම පද විදියටත් අපි හඳුන්වනු ලබනව.හැබැයි මේ විදියට ස්ත්‍රී  පුරුෂ විදියට වර්ග කරන්නෙ ප්‍රාණවාචී නාම පද විතරයි කියලත් මතක තියාගන්න. අප්‍රාණවාචී නාම පද හඳුන්වන්නේ  නපුංසක ලිංග නාම පද කියල.නිකන් හිතල බලන්නකො පුටුව කියන නාම පදය ට ස්ත්‍රී ලිංග වචනයක් තියෙනවද කියල.තව මේසය,පෑන ,පැන්සල මේ වගේ වචන අප්‍රාණවාචී නිසා ලිංග භේදයක් නැහැ.ඒකයි අපි ඒවට නපුංසක ලිංග කියන්නෙ.

තවත් පුංචි වැදගත් දේකුත් මතකෙට ගන්නකො.ඒ තමයි මේ වර්ගයේ පද හැදෙන හැටි. ක්‍රම දෙකක් ඉගෙන ගමු අපි.

1 පුරුෂලිංග නාම පදයට සුළු වෙනස්කමක්
   කිරීමෙන් ස්ත්‍රී ලිංග පදය සෑදීම.

2 පුරුෂ ලිංග නාම පදයෙන් සම්පූර්ණයෙන්
   වෙනස් ස්ත්‍රී ලිංග පදය සෑදීම.

දැන් අපී උදාහරණ කීපයකින් පළමුවෙනි ක්‍රමය  තේරුම් ගමු.


පුරුෂ ලිංග නාමය 
ස්ත්‍රී ලිංග නාමය 
පිස්සා 
පිස්සී 
කුකුළා 
කිකිළි 
රජා 
රැජිනි 
සර්පයා 
සැපින්න 
ගුරුතුමා 
ගුරුතුමී 
දෙමලිච්චා 
දෙමලිච්චි 
කොල්ලා 
කෙල්ල 
ඌරා 
ඊරි 
ගායකයා 
ගායිකාව 
ලේඛකයා 
ලේඛිකාව 
කුමරා 
කුමරී 

දැන් අපී උදාහරණ කීපයකින් දෙවෙනි ක්‍රමය  තේරුම් ගමු.

පුරුෂ ලිංග නාමය 
ස්ත්‍රී ලිංග නාමය 
මල්ලී 
නංගී 
මාමා 
නැන්දා 
සීයා 
ආච්චී 
බෑනා 
ලේලි 
අශ්වයා 
වෙළඹ 
සැමියා 
බිරිය 
මස්සිනා 
නෑනා 
මීයා 
මී දෙන 
අලියා 
ඇතින්න 
ගොනා 
එළදෙන 
මිනිසා 
ගැහැනිය 
අභ්‍යාස 

1. පහත වචන වල ස්ත්‍රී ලිංග නාම පද ලියන්න
.
  • හොරා,වවුලා,කවුඩා,උකුස්සා,කොකා,බූරුවා,සිටුවරයා,
       පාලකයා,හිවලා,හංසයා,ගෝනා,බාලකයා
.
2. පහත වාක්‍ය ලිංගය මාරු කොට නැවත් ලියන්න.
  1. නංගී මල් කැඩුවාය.
  2. බෑනා පොල් ගායි.
  3. අලියා වතුර බොයි.
  4. අශ්වයා පිම්මේ දීව ගියේය.
  5. දුව හරිම හොඳ දරුවෙක්.
  6. ගුරුතුමා පාඩම් ඉගැන්වීය.
  7. නැන්දා පොල් ලෙලි කැපුවාය.
  8. දෙවියා ඔහුට පිහිට විය.    
මේ වාක්‍ය අවසාන කරන වචන ගැනත් සැලකිල්ලට ගන්න.

3. පහත ඡේදයේ පුරුෂ ලිංග නාම සියල්ල ස්ත්‍රී ලිංග නාම බවට හරවා          නැවත ලියන්න.
    "අපේ මාමා උදේ පාන්දරම අපේ බල්ලව නාවල. බල්ලට සීතල වැඩි වෙලා හොඳටම තරහ ගිහින් මල්ලිගෙ කකුලෙ එල්ලිලා. මේක දැකපු සීයා කෑ ගහගෙන දුවද්දි පූසත් උඩ පැනල කෑ ගහගෙන දිව්ව.ඒ සද්දෙට කූඩුවේ උන්නු කුකුළත් කෑ ගහනව. හරිම ගාල ගෝට්ටියක් තමයි වුනේ.මල්ලිගෙ තුවාලෙට බෙහෙත් දාන්න කියල අයිය තකහනියෙම ගොනාව කරත්තෙට බැඳගෙන වැව් ඉහත්තාව දිගේ යද්දි මල්ලිගෙ රූපේ අන්තිමට දකින්න ඇත්තෙ  ඉවුරෙ උන්නු කොකා  වෙන්නැති කියල මට හිතුන."          

අම්මල තාත්තල දරුව එක්ක විනෝදෙන් ඉන්න අතරවාරේ මේ වචන වලින් පුංචි පුංචි ක්‍රීඩා වගේ දේවල් කරනවනම් දරුවට මේ දේවල් ඉතාම සරල සහ පහසු දේවල් වේවි.
                                                                                                    යසන්ත බුද්ධික ගමගේ (සිත්කවි)                                                                                                  

Comments